Monday, March 4, 2013


                   2013 මාර්තු 3 වන ඉරිදා තරුණ සත්ත්වවේදීගේ සංගමයේ Birds groupහි ක්ෂේත්‍ර චාරිකාව ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම, නවදන්කුලම හා හලාවත වැලිපරය යන ප්‍රදේශවල යෙදී තිබුණි. උදෑසන 6.30ට පමණ ගමන් අරඹා ජාඇළ, මීගමුව, වෙන්නප්පුව, හලාවත පසුකර ආනවිලුන්දාවට එනවිට උදෑසන 10.00 පමණ විය. එතැන් සිට අපි ආනවිලුන්දාවේ කුරුල්ලන් නැරඹීමු.
                    හොඳින් ඉර පායා තිබූ එදින අහස ඉතා පැහැදිලි විය. සුළඟ තරමක් සැර විය. මුලින්ම මාගේ නෙත ගැටුණු කුරුල්ලන් අතර කන කොකා, පුංචි දියකාවා, ඉන්දු දියකාවා, අළු කොබෙයියා, කුසඇලි සයුරුකුස්සා, අහිකාවා, කහකුරුල්ලා, මහ දියකාවා, කරවැල් කොකා, ගව කොකා, උකුස්සා, little egret, black headed ibis යන කුරුල්ලෝ වූහ.
                   බමුණු පියාකුස්සෝ යුවලක් ඈත අහසේ රවුමට පියාසර කළහ. දම් කිතල්ලු කෑ ගසමින් මානෙල් කොළ මතින් දිව ගියහ. සුවැදි සැවුල් පෙඳ දියසෑනෝ තටු ගසමින් පහතින් පියාසර කරමින් ද මානෙල් කොළ මතින් දිව යමින්ද නාද කළහ. නොසුවැදි whiskered tern කිහිප දෙනෙක් ජල තලයට ආසන්නයෙන් පියඹමින්ද වරෙක දියෙහි හිස ඔබමින්ද ඉගිලුනහ. නිල්පෙඳ බිඟුහරයෝ ජෝඩුවක් ජල තලය සිසාරා යමින් කෘමීන් ඩැහැගෙන නැවත අතුවල වැසූහ.
නිල් පෙඳ බිඟුහරයා අත්තක වසා සිටින අයුරු
                   තෙත්බිම තැනින් තැන මානෙල් හා ජපන් ජබර විසිරී ඇත. මානෙල් මල් හා ජපන් ජබර මල් තෙත්බිමට අලංකාරයක් එක්කළත් ජපන් ජබර තෙත්බිමට තර්ජනයකි. ආනවිලුන්දාව තෙත්බිම ඔස්සේ අපි කිලෝමීට්‍ර් 2ක් පමණ සෙමින් ඉදිරියට ඇදුණෙමු. අටු වැහිලිහිනි, රෑන ගිරව්, රත් යටිමල් කිරලා, Great egret, Intermediate egret, Purple rumped sunbird, Common moorhen, Grey heron, Openbill වැනි කුරුල්ලෝද දැකගත හැකිවිය.ජල තලයේ පිහිනමින් සිටි Lesser whistling duck එකෙක්ද මම දුටුවෙමි. තිත්හොට පැස්තුඩුවෙක් පියාඹාගෙන විත් ජලතලය මත වැසුවේය. ළය කායුරු වී කුරුල්ලෝ 20ක පමණ රෑනක් එක පොදියට පියඹාවිත් තෙත්බිමට විරුද්ධ පැත්තේ ඇති වෙල් යායේ වැසූහ. ලතුවැකියෝ අහසේ රවුම් ගසා අවුත් වැව කෙළවරේ ඇති විශාල ගස් මත ලැගුම් ගත්තහ. මේ අයුරින් දියකාවන්, කොකුන්, ලතුවැකියන් හා black headed ibis ලාගෙන් පිරි ගස් රැසක් තෙත්බිමේදී දැකගත හැකිවිය. Stork billed kingfisher ඈත සිට නාද කරනු දෙවරක්ම අපට ඇසුනි. නැවත ආපසු එනවිට Gull billed tern එකෙකුත් Little ternලා තුන් දෙනෙක් පමණත් අප නෙත ගැටුණි. නොසුවැදි පුංචි ගෙඹිතුරුවෙක් වරින් වර දිය මතුපිටට විත් නැවත ක්ෂණයකින් දියේ ගිලුණේය. එමෙන්ම Large cuckooshrike යුවලක්ද  පාර අයිනේ ඇති ගස්වල වසා සිටියදී අපගේ නෙත ගැටුණි. කොහෝ නාදයද කොට්ටෝරු නාදයද අප සවනත වැකෙද්දී අවසානයේ Ceylon green pigeon ජෝඩුවක් හා දුම්බොන්නෙක්ද දක්නට හැකිවිය. එන මඟ අයිනේ තෙත්බිමේ එක පසක Lesser whistling duck රංචුවක් ලැග සිටියහ.
Pioneer
                    ආනවිලුන්දාව ජලචර පක්ෂීන් නිරීක්ෂණයට මෙන්ම සමනල්ලු හා බත්කූරන් නිරීක්ෂණයේදීද වැඩි විවිධත්වයක් ඇති ස්ථානයකි. Crimson rose, Common indian crow, Salmon arab, Pioneeer, Common gull, Jezebel, Plain tiger, Common mormon වැනි දර්ශනීය සමනල විශේෂ රැසකුත් ලානිල්, කොළ, රතු, කහ වැනි වර්ණ දරන දිලිසෙන නෙත්කළු වර්ණ රටා  ඇති Damselfliesලා මෙන්ම Dragonfliesලා ද අප නෙත ගැටුණි.
                    ඉන්පසු දිවා ආහාරය ගත්  අපි නවදන්කුලම්හි wadersලා බැලීමට ගියෙමු. එහිදී කලපුව තුළ ඉස්සෝ කොටු රැසක් දැකගත හැකිවිය. කලපුව තුළ Black winged stilt, Black tailed godwit , Redshank මෙන්ම ternලා විශේෂ කිහිපයක්ද දැකගත හැකිවිය. අලංකාර දර්ශනයක් මවා පාමින් ගෝමර පිලිහුඩුවෙක් වරෙක කලපුව මධ්යයට ගොස් වේගයෙන් තටු ගසමින් අහසේ එකතැන රැදී සිට ගොදුරක් ඇස ගැසුණු සැනින් ඊයක් මෙන් ජල තලය කරා යමින්ද තවත් වරක ජල තලයට ඉතා ආසන්නයෙන් පියාඹාද ගියේය.

පුංචි ගෙඹිතුරුවෙක් පිහිනන අයුරු




ආහාර සොයන පැස්තුඩුවෙක්




දම් කිතලෙක්

පියාඹන whiskered tern


ඉස්සන් කොටුවක්
නවදන්කුලම්
                    අපේ ඊළඟ නැරඹුම් ස්ථානය වූයේ ආපසු එන ගමනේදී හමුවූ හලාවත වැලි පරයයි. එහිදී අපට Whimbrel පක්ෂියෙකු වෙරළේ ඇවිදින අයුරු දැකගත හැකිවිය. එම පරිසරය මුහුදු වැල්ලෙන් වැසීගිය වියළි කර්කශ පරිසරයක් විය. සවස පහට පමණ නැවත ආපසු ගමන ආරම්භ කළ අපි ගමන අවසානයේ නුගේගොඩට පැමිණෙන විට රාත්‍රි අට පමණ විය.            

Saturday, March 2, 2013

ජල දූෂණය, නාස්තිය හා ජල සම්පතේ අනාගතය

                පොළොව මත ජීවය ඇතිවූ‍යේ ජලය මුල්කොටගෙනය. ජලය ජීවයේ පදනම විය. එමනිසා ජලය ජීවයට සම්පතකි. ජල සම්පතේ අවසානය ජීවයේද අවසානයයි.
               ශ්‍රී ලංකාව පිරිසිදු ජල සම්පත හිමි රටකි. අප්‍රිකා මහාද්වීපයේ රටවල්වලට හා ලොව දියුණු යැයි කියාගන්නා බොහෝ රටවල්වලට ස්වභාවික පිරිසිදු ජල සම්පතක උරුමයක් නොමැත. මධ්යම කඳුකරය ඇතුළු රට මධ්යයෙන් ආරම්භ වී මහ මුහුදට ගලා බසින ගංගා හා ඔයවල් 103කින් සැදුම්ලත් ජල පද්ධතියක් අප රට සතුය. වැව් 10,000කින් සමන්විත වාරි පද්ධතියක් අතීතයේ අප රට සතුව තිබුණි. මේ නිසා පුරාණ ලක්වැසි ජනයාට පිරිසිදු ජල සම්පතේ අඩුවක් නොතිබුණි. ඔවුන් දුර බැහැර ගමනක් යනවිට අතරමගදී පවස නිවාගත්තේ මගදී හමුවූ දොළකිනි. නමුත් අද වන විට අපි ගමනක් යනවිට පවස නිවාගන්නේ පිරිසිදු කළ පානීය ජල බෝතල්වලිනි. ඒ ඇළ දොළ ගංගාවල ජලයේ පිරිසිදුභාවය අවිශ්වාස බැවිනි. පිරිසිදු කළ පානීය ජල බෝටහ්ල් අලවිය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒද පිරිසිදු ජලය ස්වභාවික පරිසරයේ නොමැති බැවිනි. අපි අදත් ජලයෙන් පොහොසත්ය. නමුත් පිරිසිදු ජලය වර්තමානයේ ප්‍රබල ගැටළුවක් වී තිබේ. ගැටළුවට හේතු වන අපිරිසිදු ජලය නිර්මාණය කරන්නේද අපිමය. නමුත්  අදවනවිට සමස්ත ශාක හා සත්ත්ව සංහතියටම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුව තිබේ.
                මිනිසා සංකීර්ණ වීම, මිනිස් ජනගහණය ඉහළ යෑම, මිනිසාගේ අවශ්යතා වැඩි වීම වැනි ගැටළුවලට විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මිනිසාගේ අදූරදර්ශී බව නිසාම පරිසර දූෂණය වීම සිදුවේ.මෙයින් ජල දූෂණය ප්‍රධානය. ජල මූලාශ්‍රවලට කැලිකසල එක් කිරීම, කර්මාන්තශාලා අපද්‍රව්ය එකතු කිරීම, මළ මූත්‍ර එකතු කිරීම මෙන්ම කෘෂිකර්මාන්තයේදී පළිබෝධ නාශක එකතු කිරීමද ජලය ප්‍රධානවම හේතු වී තිබේ. මේ නිසා අද ගංගා, ඇළ, දොළ, වැව් වැනි ජල මූලාශ්‍රවල ජලය සෘජුව සතෙකුට තබා මිනිසාටවත් භාවිතයට නුසුදුසු වී ඇත. මෙම ජලය අපවිත්‍ර කිරීමේ ඵලවිපාක පාචනය, සෙංගමාලය, කොළරාව වැනි රෝගවල හිස එසවීමත් සමගම මිනිසාටම ලැබෙමින් පවතී.
               අතීතයේදී මෙන් වර්තමානයේදී ස්වභාවික දිය දහරකින් බිය සැකකින් තොරව ජලය පානය කිරීමට හැකිවන්නේ වැසි වනාන්තර වැනි ජලය උපත ලබන ස්ථානයකදී පමණි. මඳක් සිතා බලන්න. එපමණටම අප  අවට ජලය දූෂණය වී හමාරය. කොළඹ ප්‍රදේශයේ නම් බොහෝ ඇළවල ජලය සුපෝෂණය වී භාවිතයට ගත නොහැකි තත්වයටම පත්ව ඇත. මෙනිසා අද වන විට ජලය පිරිපහදුව ජලය භාවිතයට පෙර අත්යවශ්ය පියවර වී ඇත.
                මෙසේ පිරිසිදු කරන ජලය අපි බිය සැකකින් තොරව භාවිතා කරන්නෙමු. නමුත් මින් පසුව එළඹෙන ගැටළුව පිරිපහදු ජලය මිනිසා විසින්ම නාස්ති කිරීමයි. මීට හේතුව බොහෝ මිනිසුන් පිරිසිදු ජලය සම්පතක් ලෙස නොව සුලභ දෙයක් ලෙස සිතා සිටීමයි. පිරිසිදු ජලය සම්පතක් ලෙස හැගෙන තාක් මෙම ජල නාස්තිය මිනිසා විසින් සිදුකරයි. සමහර පුද්ගලයෝ තමන් වතුර බිව් කරාමය වසා නොදැමීමට තරම් අකාරුණික වී ඇත. එමෙන්ම වැඩි ජල ප්‍රමාණයක් අවශ්ය සෝදන යන්ත්‍ර භාවිතයද ජල නාස්තියට අප වක්‍රාකාරව දායක වීමකි. සේදුම් කාර්යයේදී අප දැන හෝ නොදැන සෘජුව හෝ වක්‍රාකාරව ජලය බොහෝ සෙයින් අපවිත්‍ර වීම හා නාස්තිය සිදුවේ. සමහරෙක් මුහුණ සේදීමේදී හා රැවුල කැපීමේදී පවා වතුර ගැලුම් ගණන් පරිභෝජනයට ගනිති. එවන් නාස්ති තමා විසින්ම වළක්වා ගත හැක. ජලය පිරිපහදු කරන හා බෙදාහරින ජලසම්පාදන මණ්ඩලය අතින්ද ජලය නාස්ති වේ. දිනක්  ජලසම්පාදනයේ නිළධාරීන් නිවසක වතුර බිල නොගෙවීම හේතු කොටගෙන ජල සැපයුම අත් හිටුවීමට යාමේ දී වතුර පොම්ප කරන අධික පීඩනය හේතු කොටගෙන ඔවුන්වද අපහසුතාවයට පත් කරමින් ජල ටැංකි දෙකක පමණ රඳන වතුර ප්‍රමාණයක්  නිකරුණේ හානි වනු මම දුටිමි. නිවෙස්වල වතුර ටැංකිවලට මෝටර් මගින් වතුර පිරවීමේදී අවධානයෙන් සිටීමද වතුර උතුරා යාමෙන් සිදුවන ජල හානිය අවම කර ගැනීමට හොඳ පියවරකි.
මුළුතැන්ගෙයි සේදුම් ජලය කාණුවට නොදමා ගසකට දැමීමද බෝගයේ ඵලදාව වැඩි කරගැනීමට පොහොරකි. ඉවතලන කෘතිම රසායනික නොයෙදූ ජලය හැමවිටම බෝගයකට යෙදීමට උත්සාහ ගන්න.
                  තෙත් කලාපයේ ප්‍රදේශවලට ජලය පිරිපහදු කර ලබාදීමට තරම් ජල මූලාශ්‍ර තිබුණත් වියළි කලාපයට වසරෙන් අඩක්ම බලපවත්නා දැඩි නියගය හමුවේ ගංගා, වැව් සිඳී යයි. එවන් කලක එම ජලය සත්තුන්ට හා මිනිසුන්ට ප්‍රයෝජනයට ප්‍රමාණවත් නොවේ. එවන් විටක නළ ලිං මගින් ජලය ලබා ගැනීමට සිදුවේ. භූගත ජලය හා වැව් ජලය අපවිත්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එමා ජලයට පළිබෝධ නාශක එකතුවීමයි. ගොවි මහතුන් දැන හෝ නොදැන හෝ වැව් ජලයෙන් පළිබෝධ නාශක බෝතල් සේදීම නිසා මෙම වැව් ජලය හා භූගත ජලය මිනිසුන්ගේ ජීවිතවලට අතවනන මාරකයක් වී තිබේ. වියළි කලාපයේ පවත්නා වකුගඩු රෝගවල මූල බීජය මෙය වී තිබේ.
                ජලය අමිල සම්පතකි. එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යා නොදී රැක ගැනීම මහා පරාක්‍රමබාහු රජතුමාගේ කලයටත් වඩා අත්යවශ්ය කාරණයක්ව පවතින අද කාලයේ අපි සැවොම ජලය දූෂණය හා නාස්තිය වළක්වා තිරසාර භාවිතයකට එළඹිය යුතුව ඇත.    

Wednesday, February 20, 2013

පැටවුන්ට කිරි පොවන කුරුළු අම්මලා

                 ක්ෂීරපායි සත්තු තම පැටවුන් කිරිවලින් පෝෂණය කරති. නමුත් ඔබ කෙදිනක හෝ පක්ෂීන්,තම පැටවුන් කිරිවලින්  පෝෂණය කරන බව අසා තිබේද? බොහෝවිට ඔබට ඒ පිලිබඳව අත්දැකීමක් නොමැතිවා විය හැක.
                 මෙසේ තම පැටවු කිරිවලින් පෝෂණය කරන්නේ Columbiformes ගෝත්‍රයේ Columbidae කුලයට අයත් පක්ෂීන්ය. පොදු වයවහාරයේදී ඔවුන් පරවියන්, කොබෙයියන්, මහගොයි, බටගොයි, මයිලගොයි ලෙස නම් කීප‍යකින් හඳුන්වයි. මොවුන් ඉංග්‍රීසියෙන් pigeons and doves ලෙස හඳුන්වයි.
                  Columbidae පක්ෂීන් පැටවුන්ට කිරි පොවන ආකාරය පළමුව මතුවන ගැටළුවයි. පක්ෂීන්ට ක්ෂීරපායින්ට මෙන් ක්ෂීර ග්‍රන්ථි  හා පියවුරු පිහිටා  නැත. ඔවුන් තම පැටවුන් පෝෂණය කිරීමට පැටවුන්ගේ කටවල්වලට කිරි වමාරයි. අනෙකුත් පක්ෂීන් මෙන් කෘමි සතුන්ගෙන් පැටවුන් පෝෂණය නොකරන මේ කුරුල්ලෝ පැටවුන් මෙම කිරෙන් පමණක් පෝෂණය කරති. මෙසේ කුරුළු අම්මා හා තාත්තා එක්වී පැටවු පෝෂණය කිරීමේ නිරත වෙති. මීලගට පැන නගින ප්‍රශ්නය මෙම කිරෙහි සංයුතිය කුමක්ද යන්නයි. මෙහි සරල අර්ථය මෙම කිරිවලට ඉංග්‍රීසියෙන් කියනු ලබන නමෙන් වඩාත්  පැහැදිලි වේ. මෙම කිරි ඉංග්‍රීසියෙන් Crop milk ලෙස හඳුන්වනු ලබන අතර පරවි අම්මලා තමුන් ලබා ගන්නා ධාන්යමය ආහාරය අර්ධ ලෙස ජීර්ණය වූ දියරයක් ලෙස නැවත පැටවුන්ගේ පරිභෝජනයට වමාරයි. එනිසා මෙය පෝෂණ ගුණයෙන් සාරවත් කිරකි.මෙම කිරි පෝෂණයෙන් හා සංයුතියෙන් හාවන්ගේ කිරිවලට සමාන වේ.
නීල මහගොයා
             ලංකාවේ Columbidae කුලයට අයත් පක්ෂීන් 12ක් වාසය කරයි. නීල මහගොයා(Green Imperial Pigeon), ශ්‍රී ලංකා මයිලගොයා(Sri Lanka Wood Pigeon), ළයරන් බටගොයා(Orange Breasted Green Pigeon), පොම්පදෝරු බටගොයා(Ceylon Green Pigeon), සීපාදු බටගොයා(Yellow footed Green Pigeon), අළු කොබෙයියා(Spotted Dove), නීල කොබෙයියා(Emerald Dove), ගල් පරවියා(Rock Pigeon), මාල කොබෙයියා(Eurrasian Collard Dove), රතු මාල කොබෙයියා(Red Collard Dove),Pale Capped wood pigeon, Oriental turtle dove එම කුරුල්ලන් වේ. මොවුනතරින් තුන්දෙනෙක් ලංකාවට ඉතා දුර්ලභ ලෙස සංක්‍රමණය වන්නෝ(Vagrant) වෙති. එමෙන්ම ශ්‍රී ලංකා මයිලගොයා හා පොම්පදෝරු බටගොයා ලංකාවට ආවේණික(Endemic) විශේෂ වෙති. මොවුන්ගෙන් විශාලතමයා නීල මහගොයා වේ.
                  Columbiformes ගෝත්‍රයේ කුල තුනකට අයත් පක්ෂීහු වාසය කරති. එනම් Columbidae, Rhapidae, Pteroclididae. මෙම කුල අතරින් Rhapidae කුලයට අයත් පක්ෂීන් අද ලොවින් සමුගෙන අවසානය.
Rhapidae කුලයේ වාසය කළේ Dodo හා Solitaire යන පක්ෂි විශේෂ දෙකයි.

Dodo
Dodoගේ වාසභූමිය වූයේ ඉන්දියන් සාගරයේ මුරුසි දිවයිනයි. Dodo මුරුසි දිවයිනටම ආවේණික වූවෙක් විය. 1505දී පමණ මුරුසි දිවයිනට පෘතුගීසින් පැමිණි අතර ඔවුහු මස් පිණිස මෙම පියෑඹීමට නොහැකි පක්ෂීන් දඩයම් කළෝය. එමෙන්ම Dodo බිත්තර පොළොවේ කොළරොඩු අතර තනාගත් තැනකය. විදේශිකයන් විසින් මුරුසියට හඳුන්වා දුන් ඌරන් මෙම බිත්තර විනාශ කළ අතර මෙම හේතු නිසා මුරුසියේ අවසාන Dodoත් 1681 දී ලොවෙන් සමුගත්තේය.



Solitaire

Solitaireගේ නිජබිම Rodrigues දූපත වූ අතර එම විශේෂය එම දූපතටම සීමා වූ ආවේණික විශේෂයක් විය. ආහාර පිණිස දඩයම් කිරීම හා එම දූපතට හඳුන්වා දූන් පූසන් හා ඌරන් විසින් මෙම කුරුල්ලන්ගේ බිත්තර විනාශ කිරීම නිසා පියෑඹීමට නොහැකි මෙම Solitaire නම් පක්ෂි විශේෂය 1760 පමණ වනවිට Rodrigues දූපතට පමණක් නොව මුළු ලොවටම අහිමි විය. 

Saturday, February 16, 2013

හුදෙකලා දඩයක්කරු


    පිළිහුඩුවා කියා අප හැම අමතන මෙම කුරුල්ලා සූර දඩයක්කාරයෙකි. ලංකාවේ ඉන්නා පිළිහුඩු විශේෂ හත අතුරින් දිවයින පුරාම දැකගන්න පුලුවන් පුළුල් ව‍යාප්තියක් තියෙන කුරුල්ලා මොහුයි. සිංහලෙන් මෙම පක්ෂියාගේ වඩා නිවැරදි නම ළය සුදු පිළිහුඩුවායි. ඉංග්‍රීසියෙන් White throated kingfisher. මෙම නම ලැබීමට හේතුව මෙම පිලිහුඩුවාගේ ළය එනම් පපුව ප්‍රදේශයේ සුදු පැහැති කැපී පෙනෙන පැල්ලමක් පිහිටා තිබීමයි. මෙම පිලළිහුඩුවා විද්යාත්මකව හඳුන්වන්නේ Halycon smyrnensis යනුවෙනි. ළය සුදු මැදි පිළිහුඩුවා අයත් වන්නේ Coraciformes ගෝත්‍රයේ Alcedinidae කුලයටයි.

                                 නිවෙස් අද්දර ටීවී ඇන්ටනා මත හා පාරවල් අයිනේ විදුලි හා දුරකතන රැහැන් මත වැනි  ඉහළ ස්ථානවල මෙම කුරුල්ලා උදේ සිට හවස් වනතුරු දවසේ ඕනැම වෙලාවක  දැකගත හැකියි. මෙසේ ඉන්නා අතරම තමාගේ ලාක්ෂණික නාදයෙන් හැඬලීම සිදුකරයි. පියාසැරියේදීද ලැගීමේදීද නාද කිරීම සියළු පිළිහුඩුවන්ගේ සිරිතකි. බොහෝ වේලා එකම තැන ලැග සිටීමත් ඉතා විමර්ශනශීලීව මුළු පරිසරයම නිරීක්ෂණයෙන් පසුවන මෙම කුරුල්ලා අප ඔහු දෙස එක එල්ලේ බලා සිටී නම් හෝ පමණට වඩා ඌට ලංවේ නම් අප මඟහැර පියාඹා යයි. ඒ උගේ තියුණු දෘෂ්ටියට අපගේ චලනයන් හා ඇසෙහි දිලිසුම දර්ශනය වී අනතුරු අඟවන නිසා විය යුතුය.
                                   පිළිහුඩුවන් බොහෝවිට දඩයම් සඳහා ලැග සිටින්නේ හුදෙකලාවය. ඇතැම් විට සුවැදි සමයේ දෙදෙනෙකුද කලාතුරකින් එකම ස්ථානයේ තුන්දෙනෙකුද වසා සිටින අවස්ථා දැකගත හැක. මොවුන්ගේ ගැහැණු පිරිමි සතුන් වෙන්කර හඳුනාගත නොහැක්කේ උන් එකම ආකාරය ගන්නා බැවිනි.
                                    ළය සුදු මැදි පිළිහුඩුවා ජලාශ්‍රිත පරිසර පද්ධතිම ඇසුරු නොකරන්නෙක් බව අප හොඳින් දන්නා කරුණකි. එමනිසා උන් ගන්නා ආහාර උන් වසන පරිසරය මත තීරණය වේ. වැව්,ගංඟා වැනි ජල මූලාශ්‍ර ආශ්‍රිතව වෙසෙන මෙම විශේෂයේ පිළිහුඩුවෝ බොහෝවිට මසුන් මතද පොදුවේ මෙම විශේෂයේ සියල්ලෝම පළගැටියන් වැනි විශාල කෘමීන් හා ගැඩවිලුන්,කටුස්සන්,කුඩා සර්පයින් ආදීන් මතද යැපේ. ගොදුරක් අල්ලාගත් විට අදාළ ගොදුර ලැග සිටින අත්තේ තදින් ගසමින් අඩපණ කර ගිල දැමීමක් සිදුකරයි. දිනක් වැවේ කැලේ රක්ෂිතයේ වැව අසල කුරුල්ලන් නැරඹූ මම පිළිහුඩුවන් දෙදෙනෙකු ජල තලයට ඉතාම ආසන්න මැරුණු ගසක අත්තක වසා රිද්මයානුකූලව විනාඩි දෙකකට පමණ වරක් ජලයේ කිමිදෙනු නිරීක්ෂණය කළෙමි. මෙය මාළු දඩයම් කිරීමක් කියා සිතුවද ඇත්තෙන්ම උන් කරන්නේ දිය නෑමක් බව දෙනෙතියෙන් බැලීමේදී මට තහවුරු විය. උදෑසන අටට නවයට සිදුවූ මෙය පිළිහුඩුවෝ දෙදෙනා බොහෝ වේලා කරගෙන ගියෝය.
                                      සුවැදි සමයේදී මොවුන් කැදලි තනා බිජුලන්නේ පස් කණ්ඩියක හෝ ඉවුරක දළ බෑවුමේ තිරස්ව හාරාගත් බෙනයකය. අප නිවස ඉදිරිපස ඉතා දළ බෑවුම් සහිත කණ්ඩියක වසර දහයක පහළොවක පමණ සිට පිලිහුඩුවෝ බෙන තනා බිජුලති. මෙය එකම පිළිහුඩු ජෝඩුව කරතැයි සිතිය නොහැකි වුවත් පරම්පරා ගණනක සිට උන් මෙම ස්ථානය බෙන තනා බිජුලෑමට යොදාගන්නවා වියහැක. නමුත් එය සනාථ කිරීමට පරීක්ෂණයක් අවශයය. කණ්ඩියේ ඉහළ අන්තයට ආසන්නව මෙම බෙනය සාදා ගන්නේද මොවුන්මය. පිළිහුඩු ජෝඩුවක් එක්ව බෙනයක් හාරන අයුරු දිනක් මම බලා සිටියෙමි. බෙනය හාරන පැත්තේ කණ්ඩියට විරුද්ධ පැත්තේ ඇති තාප්පය මත වසා සිටින මෙම දෙදෙනා මාරුවෙන් මාරුවට පියාඹා ගොස් කණ්ඩියේ තෝරාගත් ස්ථානයට හොටින් අනිමින් ගැඹුරු කරයි. මේ අයුරින් දින කීපයක් තුළ උන් සෙන්ටිමීටර් 10 ක් පමණ ගැඹුරක් ඇති බෙනයක් හාරා ගන්නා ලදී. නමුත් උන් එහි බිජුලෑවේ නැත. එම කණ්ඩියේ මීටර් 15 ක් පමණ දුර ප්‍රමාණයක් තුළ එම වසර ගණනාව තුළ හාරන ලද බෙන 12ක් පමණ ඇති අතර ඒවායින් 2ක් පමණ අඩි 2ක් පමණ ගැඹුරට හාරන ලද කීප වරක් බිජුලෑමට භාවිතා කරන ලද ඒවාය. අනෙක්වා හෑරීම අතරමග නවතා දැමූ ඒවාය. මේ ආකාරයට බෙන කීපයක් එකම ස්ථානයේ හාරන්නේ පැටවුන්ගේ ආරක්ෂාවටයි. මෙමගින් විලෝපිකයන් නොමග යැවීමක් සිදුවේ. මෙය පිළිහුඩුවාගේ උපායශීලිත්වය මොනවට පෙන්වයි. එමෙන්ම දළ බෑවුමක බෙන සාදන්නේ ද එය සඳහාමය.පිළිහුඩු යුවල බෙනය හාරන විට යමෙක් එදෙස බලා සිටී නම් උන් එම ක්‍රියාව නවතයි. නැවත එය අරඹන්නේ කවරකුවත් බලා නොසිටින බව තහවුරු වූ පසුයි.
                                         දිනක් උදෑසන මම පිළිහුඩු යුවලක් ලයිට් කම්බියක් මත වසා ඉන් එකෙකු හොටෙහි සිරකරගත් කෑම ඇතිව බෙනයට රිංගනවා දුටිමි. නමුත් මට කිසිදිනක උන්ගේ බිත්තර හෝ පැටවුන්  හෝ පැටවුන් කූඩුවෙන් ඉගීල යනවා හෝ දැක ගත හැකි වූයේ නැත. උන් පැටවුන්ට කැවීමට පවා බෙනයට රිංගන විට වටපිට ගැන විමසිලිමත් නිසා එය මට නිරීක්ෂණයට හැකිවූයේ සැගවී සිටීමෙනි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලය ළය සුදු මැදි පිළිහුඩුවාගේ සුවදින සමය බව මගේ නිගමනයයි. දැනට මාගේ නිරීක්ෂණ මෙපමණ වුවත් මෙම උපායශීලී හුදෙකලා දඩයක්කරු තවත් බොහෝ රහස් සගවා ගත්තෙකු බව මම දනිමි.
     
                                 

Friday, February 15, 2013

න්ත්ප්පුච්චිල්


දෙමලෙන් වන්නත්තප්පුච්චිහල් කියන්නෙ සමනල්ලුන්ට. සමනල්ලු කියන්නෙ බොහොම විචිත්‍ර සත්ත්ව කොට්ටාසයක්. ඒගොල්ලො අයිති වෙන්නෙ Animalia රාජධානියේ Arthropoda වංශයේ Insecta වර්ගයේ Lepidoptera ගෝත්‍රයට. සමනල්ලු සුපිරි කුල  (Super families) 3කට බෙදෙනවා.ඒ අතරිනුත් ලංකාවේ ඉන්න සමනල්ලු අයිති වෙන්නෙ Papilionidea සුපිරි කුලයට.ලංකාවේ ඉන්න සමනල්ලු කුල 6කට බෙදල තියෙනවා. මේ වගක් දන්නෙ නැති සමනල්ලු ඒගොල්ලන්ගෙ ලස්සන පෙන්න පෙන්න මල් පැනි බොනවා. අපි සමනල්ලු ගැන දන්නෙ මේ කවිය විතරයි.
                රන්වන් පාටයි සමනලයා
                රෝස මලේ පැනි බීල ගියා
                ආයෙත් ඒවිද ඒ සමනලයා
                මල්වල පැනි බොන්ටා
සමනල්ලු පැනි බොනව, විතරක් නෙවෙයි. මේ පරිසර පද්ධතියෙ පැවැත්මට හුගක් දේවල් කරනවා.ඒ ගැන වෙන ලිපියකින් කතා කරමු. මගේ සමනල චාරිකාවේ නකල්ස්වලදියි අවිස්සාවේල්ලෙදියි ගත්තු ලස්සන සමනල්ලුන්ගෙ පොටෝ ටිකක් රස විදිමු.