ජල දූෂණය, නාස්තිය හා ජල සම්පතේ අනාගතය
ශ්‍රී ලංකාව පිරිසිදු ජල සම්පත හිමි රටකි. අප්‍රිකා මහාද්වීපයේ රටවල්වලට හා ලොව දියුණු යැයි කියාගන්නා බොහෝ රටවල්වලට ස්වභාවික පිරිසිදු ජල සම්පතක උරුමයක් නොමැත. මධ්යම කඳුකරය ඇතුළු රට මධ්යයෙන් ආරම්භ වී මහ මුහුදට ගලා බසින ගංගා හා ඔයවල් 103කින් සැදුම්ලත් ජල පද්ධතියක් අප රට සතුය. වැව් 10,000කින් සමන්විත වාරි පද්ධතියක් අතීතයේ අප රට සතුව තිබුණි. මේ නිසා පුරාණ ලක්වැසි ජනයාට පිරිසිදු ජල සම්පතේ අඩුවක් නොතිබුණි. ඔවුන් දුර බැහැර ගමනක් යනවිට අතරමගදී පවස නිවාගත්තේ මගදී හමුවූ දොළකිනි. නමුත් අද වන විට අපි ගමනක් යනවිට පවස නිවාගන්නේ පිරිසිදු කළ පානීය ජල බෝතල්වලිනි. ඒ ඇළ දොළ ගංගාවල ජලයේ පිරිසිදුභාවය අවිශ්වාස බැවිනි. පිරිසිදු කළ පානීය ජල බෝටහ්ල් අලවිය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒද පිරිසිදු ජලය ස්වභාවික පරිසරයේ නොමැති බැවිනි. අපි අදත් ජලයෙන් පොහොසත්ය. නමුත් පිරිසිදු ජලය වර්තමානයේ ප්‍රබල ගැටළුවක් වී තිබේ. ගැටළුවට හේතු වන අපිරිසිදු ජලය නිර්මාණය කරන්නේද අපිමය. නමුත් අදවනවිට සමස්ත ශාක හා සත්ත්ව සංහතියටම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුව තිබේ.
මිනිසා සංකීර්ණ වීම, මිනිස් ජනගහණය ඉහළ යෑම, මිනිසාගේ අවශ්යතා වැඩි වීම වැනි ගැටළුවලට විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මිනිසාගේ අදූරදර්ශී බව නිසාම පරිසර දූෂණය වීම සිදුවේ.මෙයින් ජල දූෂණය ප්‍රධානය. ජල මූලාශ්‍රවලට කැලිකසල එක් කිරීම, කර්මාන්තශාලා අපද්‍රව්ය එකතු කිරීම, මළ මූත්‍ර එකතු කිරීම මෙන්ම කෘෂිකර්මාන්තයේදී පළිබෝධ නාශක එකතු කිරීමද ජලය ප්‍රධානවම හේතු වී තිබේ. මේ නිසා අද ගංගා, ඇළ, දොළ, වැව් වැනි ජල මූලාශ්‍රවල ජලය සෘජුව සතෙකුට තබා මිනිසාටවත් භාවිතයට නුසුදුසු වී ඇත. මෙම ජලය අපවිත්‍ර කිරීමේ ඵලවිපාක පාචනය, සෙංගමාලය, කොළරාව වැනි රෝගවල හිස එසවීමත් සමගම මිනිසාටම ලැබෙමින් පවතී.
අතීතයේදී මෙන් වර්තමානයේදී ස්වභාවික දිය දහරකින් බිය සැකකින් තොරව ජලය පානය කිරීමට හැකිවන්නේ වැසි වනාන්තර වැනි ජලය උපත ලබන ස්ථානයකදී පමණි. මඳක් සිතා බලන්න. එපමණටම අප අවට ජලය දූෂණය වී හමාරය. කොළඹ ප්‍රදේශයේ නම් බොහෝ ඇළවල ජලය සුපෝෂණය වී භාවිතයට ගත නොහැකි තත්වයටම පත්ව ඇත. මෙනිසා අද වන විට ජලය පිරිපහදුව ජලය භාවිතයට පෙර අත්යවශ්ය පියවර වී ඇත.
මෙසේ පිරිසිදු කරන ජලය අපි බිය සැකකින් තොරව භාවිතා කරන්නෙමු. නමුත් මින් පසුව එළඹෙන ගැටළුව පිරිපහදු ජලය මිනිසා විසින්ම නාස්ති කිරීමයි. මීට හේතුව බොහෝ මිනිසුන් පිරිසිදු ජලය සම්පතක් ලෙස නොව සුලභ දෙයක් ලෙස සිතා සිටීමයි. පිරිසිදු ජලය සම්පතක් ලෙස හැගෙන තාක් මෙම ජල නාස්තිය මිනිසා විසින් සිදුකරයි. සමහර පුද්ගලයෝ තමන් වතුර බිව් කරාමය වසා නොදැමීමට තරම් අකාරුණික වී ඇත. එමෙන්ම වැඩි ජල ප්‍රමාණයක් අවශ්ය සෝදන යන්ත්‍ර භාවිතයද ජල නාස්තියට අප වක්‍රාකාරව දායක වීමකි. සේදුම් කාර්යයේදී අප දැන හෝ නොදැන සෘජුව හෝ වක්‍රාකාරව ජලය බොහෝ සෙයින් අපවිත්‍ර වීම හා නාස්තිය සිදුවේ. සමහරෙක් මුහුණ සේදීමේදී හා රැවුල කැපීමේදී පවා වතුර ගැලුම් ගණන් පරිභෝජනයට ගනිති. එවන් නාස්ති තමා විසින්ම වළක්වා ගත හැක. ජලය පිරිපහදු කරන හා බෙදාහරින ජලසම්පාදන මණ්ඩලය අතින්ද ජලය නාස්ති වේ. දිනක් ජලසම්පාදනයේ නිළධාරීන් නිවසක වතුර බිල නොගෙවීම හේතු කොටගෙන ජල සැපයුම අත් හිටුවීමට යාමේ දී වතුර පොම්ප කරන අධික පීඩනය හේතු කොටගෙන ඔවුන්වද අපහසුතාවයට පත් කරමින් ජල ටැංකි දෙකක පමණ රඳන වතුර ප්‍රමාණයක් නිකරුණේ හානි වනු මම දුටිමි. නිවෙස්වල වතුර ටැංකිවලට මෝටර් මගින් වතුර පිරවීමේදී අවධානයෙන් සිටීමද වතුර උතුරා යාමෙන් සිදුවන ජල හානිය අවම කර ගැනීමට හොඳ පියවරකි.
මුළුතැන්ගෙයි සේදුම් ජලය කාණුවට නොදමා ගසකට දැමීමද බෝගයේ ඵලදාව වැඩි කරගැනීමට පොහොරකි. ඉවතලන කෘතිම රසායනික නොයෙදූ ජලය හැමවිටම බෝගයකට යෙදීමට උත්සාහ ගන්න.
තෙත් කලාපයේ ප්‍රදේශවලට ජලය පිරිපහදු කර ලබාදීමට තරම් ජල මූලාශ්‍ර තිබුණත් වියළි කලාපයට වසරෙන් අඩක්ම බලපවත්නා දැඩි නියගය හමුවේ ගංගා, වැව් සිඳී යයි. එවන් කලක එම ජලය සත්තුන්ට හා මිනිසුන්ට ප්‍රයෝජනයට ප්‍රමාණවත් නොවේ. එවන් විටක නළ ලිං මගින් ජලය ලබා ගැනීමට සිදුවේ. භූගත ජලය හා වැව් ජලය අපවිත්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එමා ජලයට පළිබෝධ නාශක එකතුවීමයි. ගොවි මහතුන් දැන හෝ නොදැන හෝ වැව් ජලයෙන් පළිබෝධ නාශක බෝතල් සේදීම නිසා මෙම වැව් ජලය හා භූගත ජලය මිනිසුන්ගේ ජීවිතවලට අතවනන මාරකයක් වී තිබේ. වියළි කලාපයේ පවත්නා වකුගඩු රෝගවල මූල බීජය මෙය වී තිබේ.
ජලය අමිල සම්පතකි. එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යා නොදී රැක ගැනීම මහා පරාක්‍රමබාහු රජතුමාගේ කලයටත් වඩා අත්යවශ්ය කාරණයක්ව පවතින අද කාලයේ අපි සැවොම ජලය දූෂණය හා නාස්තිය වළක්වා තිරසාර භාවිතයකට එළඹිය යුතුව ඇත.
No comments:
Post a Comment