Saturday, February 16, 2013

හුදෙකලා දඩයක්කරු


    පිළිහුඩුවා කියා අප හැම අමතන මෙම කුරුල්ලා සූර දඩයක්කාරයෙකි. ලංකාවේ ඉන්නා පිළිහුඩු විශේෂ හත අතුරින් දිවයින පුරාම දැකගන්න පුලුවන් පුළුල් ව‍යාප්තියක් තියෙන කුරුල්ලා මොහුයි. සිංහලෙන් මෙම පක්ෂියාගේ වඩා නිවැරදි නම ළය සුදු පිළිහුඩුවායි. ඉංග්‍රීසියෙන් White throated kingfisher. මෙම නම ලැබීමට හේතුව මෙම පිලිහුඩුවාගේ ළය එනම් පපුව ප්‍රදේශයේ සුදු පැහැති කැපී පෙනෙන පැල්ලමක් පිහිටා තිබීමයි. මෙම පිලළිහුඩුවා විද්යාත්මකව හඳුන්වන්නේ Halycon smyrnensis යනුවෙනි. ළය සුදු මැදි පිළිහුඩුවා අයත් වන්නේ Coraciformes ගෝත්‍රයේ Alcedinidae කුලයටයි.

                                 නිවෙස් අද්දර ටීවී ඇන්ටනා මත හා පාරවල් අයිනේ විදුලි හා දුරකතන රැහැන් මත වැනි  ඉහළ ස්ථානවල මෙම කුරුල්ලා උදේ සිට හවස් වනතුරු දවසේ ඕනැම වෙලාවක  දැකගත හැකියි. මෙසේ ඉන්නා අතරම තමාගේ ලාක්ෂණික නාදයෙන් හැඬලීම සිදුකරයි. පියාසැරියේදීද ලැගීමේදීද නාද කිරීම සියළු පිළිහුඩුවන්ගේ සිරිතකි. බොහෝ වේලා එකම තැන ලැග සිටීමත් ඉතා විමර්ශනශීලීව මුළු පරිසරයම නිරීක්ෂණයෙන් පසුවන මෙම කුරුල්ලා අප ඔහු දෙස එක එල්ලේ බලා සිටී නම් හෝ පමණට වඩා ඌට ලංවේ නම් අප මඟහැර පියාඹා යයි. ඒ උගේ තියුණු දෘෂ්ටියට අපගේ චලනයන් හා ඇසෙහි දිලිසුම දර්ශනය වී අනතුරු අඟවන නිසා විය යුතුය.
                                   පිළිහුඩුවන් බොහෝවිට දඩයම් සඳහා ලැග සිටින්නේ හුදෙකලාවය. ඇතැම් විට සුවැදි සමයේ දෙදෙනෙකුද කලාතුරකින් එකම ස්ථානයේ තුන්දෙනෙකුද වසා සිටින අවස්ථා දැකගත හැක. මොවුන්ගේ ගැහැණු පිරිමි සතුන් වෙන්කර හඳුනාගත නොහැක්කේ උන් එකම ආකාරය ගන්නා බැවිනි.
                                    ළය සුදු මැදි පිළිහුඩුවා ජලාශ්‍රිත පරිසර පද්ධතිම ඇසුරු නොකරන්නෙක් බව අප හොඳින් දන්නා කරුණකි. එමනිසා උන් ගන්නා ආහාර උන් වසන පරිසරය මත තීරණය වේ. වැව්,ගංඟා වැනි ජල මූලාශ්‍ර ආශ්‍රිතව වෙසෙන මෙම විශේෂයේ පිළිහුඩුවෝ බොහෝවිට මසුන් මතද පොදුවේ මෙම විශේෂයේ සියල්ලෝම පළගැටියන් වැනි විශාල කෘමීන් හා ගැඩවිලුන්,කටුස්සන්,කුඩා සර්පයින් ආදීන් මතද යැපේ. ගොදුරක් අල්ලාගත් විට අදාළ ගොදුර ලැග සිටින අත්තේ තදින් ගසමින් අඩපණ කර ගිල දැමීමක් සිදුකරයි. දිනක් වැවේ කැලේ රක්ෂිතයේ වැව අසල කුරුල්ලන් නැරඹූ මම පිළිහුඩුවන් දෙදෙනෙකු ජල තලයට ඉතාම ආසන්න මැරුණු ගසක අත්තක වසා රිද්මයානුකූලව විනාඩි දෙකකට පමණ වරක් ජලයේ කිමිදෙනු නිරීක්ෂණය කළෙමි. මෙය මාළු දඩයම් කිරීමක් කියා සිතුවද ඇත්තෙන්ම උන් කරන්නේ දිය නෑමක් බව දෙනෙතියෙන් බැලීමේදී මට තහවුරු විය. උදෑසන අටට නවයට සිදුවූ මෙය පිළිහුඩුවෝ දෙදෙනා බොහෝ වේලා කරගෙන ගියෝය.
                                      සුවැදි සමයේදී මොවුන් කැදලි තනා බිජුලන්නේ පස් කණ්ඩියක හෝ ඉවුරක දළ බෑවුමේ තිරස්ව හාරාගත් බෙනයකය. අප නිවස ඉදිරිපස ඉතා දළ බෑවුම් සහිත කණ්ඩියක වසර දහයක පහළොවක පමණ සිට පිලිහුඩුවෝ බෙන තනා බිජුලති. මෙය එකම පිළිහුඩු ජෝඩුව කරතැයි සිතිය නොහැකි වුවත් පරම්පරා ගණනක සිට උන් මෙම ස්ථානය බෙන තනා බිජුලෑමට යොදාගන්නවා වියහැක. නමුත් එය සනාථ කිරීමට පරීක්ෂණයක් අවශයය. කණ්ඩියේ ඉහළ අන්තයට ආසන්නව මෙම බෙනය සාදා ගන්නේද මොවුන්මය. පිළිහුඩු ජෝඩුවක් එක්ව බෙනයක් හාරන අයුරු දිනක් මම බලා සිටියෙමි. බෙනය හාරන පැත්තේ කණ්ඩියට විරුද්ධ පැත්තේ ඇති තාප්පය මත වසා සිටින මෙම දෙදෙනා මාරුවෙන් මාරුවට පියාඹා ගොස් කණ්ඩියේ තෝරාගත් ස්ථානයට හොටින් අනිමින් ගැඹුරු කරයි. මේ අයුරින් දින කීපයක් තුළ උන් සෙන්ටිමීටර් 10 ක් පමණ ගැඹුරක් ඇති බෙනයක් හාරා ගන්නා ලදී. නමුත් උන් එහි බිජුලෑවේ නැත. එම කණ්ඩියේ මීටර් 15 ක් පමණ දුර ප්‍රමාණයක් තුළ එම වසර ගණනාව තුළ හාරන ලද බෙන 12ක් පමණ ඇති අතර ඒවායින් 2ක් පමණ අඩි 2ක් පමණ ගැඹුරට හාරන ලද කීප වරක් බිජුලෑමට භාවිතා කරන ලද ඒවාය. අනෙක්වා හෑරීම අතරමග නවතා දැමූ ඒවාය. මේ ආකාරයට බෙන කීපයක් එකම ස්ථානයේ හාරන්නේ පැටවුන්ගේ ආරක්ෂාවටයි. මෙමගින් විලෝපිකයන් නොමග යැවීමක් සිදුවේ. මෙය පිළිහුඩුවාගේ උපායශීලිත්වය මොනවට පෙන්වයි. එමෙන්ම දළ බෑවුමක බෙන සාදන්නේ ද එය සඳහාමය.පිළිහුඩු යුවල බෙනය හාරන විට යමෙක් එදෙස බලා සිටී නම් උන් එම ක්‍රියාව නවතයි. නැවත එය අරඹන්නේ කවරකුවත් බලා නොසිටින බව තහවුරු වූ පසුයි.
                                         දිනක් උදෑසන මම පිළිහුඩු යුවලක් ලයිට් කම්බියක් මත වසා ඉන් එකෙකු හොටෙහි සිරකරගත් කෑම ඇතිව බෙනයට රිංගනවා දුටිමි. නමුත් මට කිසිදිනක උන්ගේ බිත්තර හෝ පැටවුන්  හෝ පැටවුන් කූඩුවෙන් ඉගීල යනවා හෝ දැක ගත හැකි වූයේ නැත. උන් පැටවුන්ට කැවීමට පවා බෙනයට රිංගන විට වටපිට ගැන විමසිලිමත් නිසා එය මට නිරීක්ෂණයට හැකිවූයේ සැගවී සිටීමෙනි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලය ළය සුදු මැදි පිළිහුඩුවාගේ සුවදින සමය බව මගේ නිගමනයයි. දැනට මාගේ නිරීක්ෂණ මෙපමණ වුවත් මෙම උපායශීලී හුදෙකලා දඩයක්කරු තවත් බොහෝ රහස් සගවා ගත්තෙකු බව මම දනිමි.
     
                                 

No comments:

Post a Comment