හුදෙකලා දඩයක්කරු
පිළිහුඩුවා කියා අප හැම අමතන මෙම කුරුල්ලා සූර දඩයක්කාරයෙකි. ලංකාවේ ඉන්නා පිළිහුඩු විශේෂ හත අතුරින් දිවයින පුරාම දැකගන්න පුලුවන් පුළුල් වයාප්තියක් තියෙන කුරුල්ලා මොහුයි. සිංහලෙන් මෙම පක්ෂියාගේ වඩා නිවැරදි නම ළය සුදු පිළිහුඩුවායි. ඉංග්‍රීසියෙන් White throated kingfisher. මෙම නම ලැබීමට හේතුව මෙම පිලිහුඩුවාගේ ළය එනම් පපුව ප්‍රදේශයේ සුදු පැහැති කැපී පෙනෙන පැල්ලමක් පිහිටා තිබීමයි. මෙම පිලළිහුඩුවා විද්යාත්මකව හඳුන්වන්නේ Halycon smyrnensis යනුවෙනි. ළය සුදු මැදි පිළිහුඩුවා අයත් වන්නේ Coraciformes ගෝත්‍රයේ Alcedinidae කුලයටයි.
නිවෙස් අද්දර ටීවී ඇන්ටනා මත හා පාරවල් අයිනේ විදුලි හා දුරකතන රැහැන් මත වැනි ඉහළ ස්ථානවල මෙම කුරුල්ලා උදේ සිට හවස් වනතුරු දවසේ ඕනැම වෙලාවක දැකගත හැකියි. මෙසේ ඉන්නා අතරම තමාගේ ලාක්ෂණික නාදයෙන් හැඬලීම සිදුකරයි. පියාසැරියේදීද ලැගීමේදීද නාද කිරීම සියළු පිළිහුඩුවන්ගේ සිරිතකි. බොහෝ වේලා එකම තැන ලැග සිටීමත් ඉතා විමර්ශනශීලීව මුළු පරිසරයම නිරීක්ෂණයෙන් පසුවන මෙම කුරුල්ලා අප ඔහු දෙස එක එල්ලේ බලා සිටී නම් හෝ පමණට වඩා ඌට ලංවේ නම් අප මඟහැර පියාඹා යයි. ඒ උගේ තියුණු දෘෂ්ටියට අපගේ චලනයන් හා ඇසෙහි දිලිසුම දර්ශනය වී අනතුරු අඟවන නිසා විය යුතුය.
පිළිහුඩුවන් බොහෝවිට දඩයම් සඳහා ලැග සිටින්නේ හුදෙකලාවය. ඇතැම් විට සුවැදි සමයේ දෙදෙනෙකුද කලාතුරකින් එකම ස්ථානයේ තුන්දෙනෙකුද වසා සිටින අවස්ථා දැකගත හැක. මොවුන්ගේ ගැහැණු පිරිමි සතුන් වෙන්කර හඳුනාගත නොහැක්කේ උන් එකම ආකාරය ගන්නා බැවිනි.
ළය සුදු මැදි පිළිහුඩුවා ජලාශ්‍රිත පරිසර පද්ධතිම ඇසුරු නොකරන්නෙක් බව අප හොඳින් දන්නා කරුණකි. එමනිසා උන් ගන්නා ආහාර උන් වසන පරිසරය මත තීරණය වේ. වැව්,ගංඟා වැනි ජල මූලාශ්‍ර ආශ්‍රිතව වෙසෙන මෙම විශේෂයේ පිළිහුඩුවෝ බොහෝවිට මසුන් මතද පොදුවේ මෙම විශේෂයේ සියල්ලෝම පළගැටියන් වැනි විශාල කෘමීන් හා ගැඩවිලුන්,කටුස්සන්,කුඩා සර්පයින් ආදීන් මතද යැපේ. ගොදුරක් අල්ලාගත් විට අදාළ ගොදුර ලැග සිටින අත්තේ තදින් ගසමින් අඩපණ කර ගිල දැමීමක් සිදුකරයි. දිනක් වැවේ කැලේ රක්ෂිතයේ වැව අසල කුරුල්ලන් නැරඹූ මම පිළිහුඩුවන් දෙදෙනෙකු ජල තලයට ඉතාම ආසන්න මැරුණු ගසක අත්තක වසා රිද්මයානුකූලව විනාඩි දෙකකට පමණ වරක් ජලයේ කිමිදෙනු නිරීක්ෂණය කළෙමි. මෙය මාළු දඩයම් කිරීමක් කියා සිතුවද ඇත්තෙන්ම උන් කරන්නේ දිය නෑමක් බව දෙනෙතියෙන් බැලීමේදී මට තහවුරු විය. උදෑසන අටට නවයට සිදුවූ මෙය පිළිහුඩුවෝ දෙදෙනා බොහෝ වේලා කරගෙන ගියෝය.
දිනක් උදෑසන මම පිළිහුඩු යුවලක් ලයිට් කම්බියක් මත වසා ඉන් එකෙකු හොටෙහි සිරකරගත් කෑම ඇතිව බෙනයට රිංගනවා දුටිමි. නමුත් මට කිසිදිනක උන්ගේ බිත්තර හෝ පැටවුන් හෝ පැටවුන් කූඩුවෙන් ඉගීල යනවා හෝ දැක ගත හැකි වූයේ නැත. උන් පැටවුන්ට කැවීමට පවා බෙනයට රිංගන විට වටපිට ගැන විමසිලිමත් නිසා එය මට නිරීක්ෂණයට හැකිවූයේ සැගවී සිටීමෙනි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලය ළය සුදු මැදි පිළිහුඩුවාගේ සුවදින සමය බව මගේ නිගමනයයි. දැනට මාගේ නිරීක්ෂණ මෙපමණ වුවත් මෙම උපායශීලී හුදෙකලා දඩයක්කරු තවත් බොහෝ රහස් සගවා ගත්තෙකු බව මම දනිමි.
No comments:
Post a Comment